අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ රත්නපුර අධිකරණ නීතිඥ සංගමය අතර සාකච්ඡාවක් ඊයේ (14) පස්වරුවේ එම අධිකරණ සංකීර්ණයේ පිහිටි නීතිඥ පුස්තකාලයේදී පැවැත්විණි.
අධිකරණ කටයුතු පවත්වාගෙන යාමේදී පවතින ගැටළු සහ නීතීඥයින්ට සිය වෘත්තිය සිදු කිරීමේදී මුහුණ දී ඇති ප්‍රශ්න පිළිබඳව මෙහිදී අවධානය යොමු වු අතර, ඉදිරිපත් කරන ලද ගැටළු සඳහා එකින් එක විසඳුම් ලබා ගත හැකි ආකාරය අධිකරණ අමාත්‍යතුමා විසින් පැහැදිලි කරන ලදී.
නීතිඥ සංගමයේ නියෝජිතයින් විසින් ගැටළු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අතර, ඒ සඳහා පිළිතුරු ලබා දුන් අධිකරණ අමාත්‍යතුමා මෙසේ පැවසීය.
“ අධිකරණ පද්ධතියේ පවතින්නේ වසර දෙක තුනක සිට පවතින ගැටළු නොවෙයි. ඒවා වසර පහළොවක පමණ සිට පවතින ගැටළු බව සඳහන් කළ යුතුයි. වත්මන් රජය බලයට පත් වන විට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල අනුමත පුරප්පාඩු හය දහසකට වඩා තිබුණා. පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් බඳවා ගැනීම් සිදු කර තිබුණේ නැහැ. එහෙත් මේ වන විට එම පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් දෙදහසකට වඩා සිදු කිරීමට කටයුතු කර තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ වගකීම වන්නේ අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමයි ”
“ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ කටයුතු අගවිනිසුරුතුමාගේ මුලිකත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයෙන් ආරම්භ කර තිබෙනවා. ඒ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ව්‍යාප්ත කිරීමට අවශ්‍ය තාක්ෂණය අධිකරණ වෙත ලබා දිය යුතුයි. මෙම අධිකරණයේ විනිසුරුතුමන්ලා මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ලඝු ලේඛක කටයුතු වෙනුවෙන් පවතින පුරප්පාඩු වෙනුවෙන් බඳවා ගැනීම් සිදු කරන අතර, ලඝු ලේඛක කටයුතු කටයුතු තාක්ෂණය හරහා සිදු කිරීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය එක්ව යෙදුමක් සම්පාදනය කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා ” පුරප්පාඩුව පවතින ලඝු ලේඛක බඳවා ගැනීමේ කටයුතු අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සහ කාර්යාල කාර්ය සහාකයින් බඳවා ගැනීම අධිකරණ අමාත්‍යාංශය විසින් සිදු කරමින් පවතින බවත්, සියලු ගැටළු වෙනුවෙන් අවශ්‍ය විසඳුම් ලබාදීමට අවධානය යොමු කරන බවත්, අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
රත්නපුර අධිකරණයේ පවතින සේවක පුරප්පාඩු, දිසා අධිකරණය සඳහා කාර්යාල උපකරණ ලබා ගැනීම, සාක්ෂි මෙහෙයවීමේදී තාක්ෂණික උපකරණ ලබා ගැනීම, නීතිඥ කාර්යාල සංකීර්ණයේ ඉදි කිරීම් සහ දිසා අධිකරණයට වර්ණ ඡායාරූප යන්ත්‍රයක් ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කළ අතර, රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ණය සහන මණ්ඩලයේ කාර්යාලයක් ලබාදීමට සලකා බලන ලෙස නීතිඥවරුන් ඉල්ලීමක් සිදු කළ අතර, ඒ සඳහා විධිමත් පරිදි ඉල්ලීමක් අමාත්‍යාංශය වෙත යොමු කරන මෙන් අමාත්‍යතුමා සඳහන් කරන ලදී.
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න, රත්නපුර නීතිඥ සංගමයේ සභාපති නීතිඥ, එස්.ජී.සේනාරත්න, එම නීතිඥ සංගමයේ ලේකම්, නීතිඥ රත්නමලල බණ්ඩාර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, රත්නපුර නීතිඥ සංගමයේ සාමාජික මහත්ම මහත්මීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

එක් එක් දේශපාලන බල අධිකාරීන්ගේ ක්‍රියා කලාපයන් සහ මතිමතාන්තර නිසා ජනතාවගේ මුදල් නිකරුනේ නාස්තිවෙලා
අධිකරණ ඇමති පවසයි
ගාල්ල බෙලිගහ හංදිය නව අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (2026.04.23)පෙරවරුවේ එක්විය.
අනතුරුව ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ඉංජිනේරු මධ්‍යම උපදේශන කාර්යාංශය සහ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත විය. එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අධිකරණ සංකීර්ණයේ ඉතිරි කටයුතු කඩිනමින් අවසන් කර ජූලි මස අවසන් වීමට පෙර නව උසාවි සංකීර්ණයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.
2011 පමණ කාලයේ ආරම්භ කල මෙම උසාවි සංකීරණයේ වැඩ කටයුතු මෙම වසර වන විටත් අවසන් කිරීමට නොහැකි වීම අවාසනාවන්ත කරුණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එක් එක් දේශපාලන බල අධිකාරීන්ගේ ක්‍රියා කලාපයන් සහ මතිමතාන්තර නිසා ජනතාවගේ මුදල් නිකරුනේ නාස්ති වී ඇති බවයි.
වර්තමාන රජයේ ක්‍රියාත්මක කරන වැඩසටහන් හරහා මින් ඉදිරියට එවැනි කටයුතු සිදුවීමට ඉඩ නොතබන බවද අමාත්‍යවරයා අවධාරණය කල අතර රජයේ ගොඩනැගිලි සකස් කිරීමේදී අනාගතයට සුදුසුවන පරිදි සකස් කිරීම පිලිබදවද සැලකිලිමත් වන ලෙස නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබීය.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හසාරා ලියනගේ මහත්මිය, අධිකරණ සහ ජාතික ඒකාබදධතා අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු කුසුම් සුභසිංහ, ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී කළ්‍යාණි ද සිල්වා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ, ඉංජිනේරුමය කාර්යන් පිලිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට ඒක විය.
මෙම සාකච්ඡාවෙන් පසුව ගාල්ල බෙලිගහ හංදිය ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින නව නීතිඥ කාර්යාල සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ගාල්ල නීතිඥ සංගමයේ සභාපති ආසිරි ද සිල්වා මහතා සහ නීතිඥවරුන් පිරිසක් සමඟ අමාත්‍යවරයා සහභාගී විය.

2026 සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාවෙන් පසු රාජකාරී ආරම්භය ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2026.04.20) දින අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ.
මෙහිදී අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට අලුත් අවුරුදු සුභපැතුම් එක් කරමින් ගරු අමාත්‍යතුමා මෙසේ සඳහන් කලේය.
“අලුත් අවුරුද්දේ සියලුම ප්‍රශ්ණ, ගැටළු විසදා ගැනීමට අවස්ථාව ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. පුද්ගලික ජීවිතයේ අභියෝග තියෙනවා, වෘත්තීය ජීවිතයේත් බොහෝ අභියෝග තියෙනවා කෙසේ වෙතත් අපි සතුටින් ජීවිතය ගත කල යුතුයි. අපි සියළු දෙනා අතින් සුළු සුළු වැරදි වන නමුත් රාජකාරී ජීවිතයේදී කණ්ඩායමක් ලෙස අපි අතින් සිදු වුන සුළු සුළු වැරදි තේරුම් අරගෙන ඒ්වා නිවැරදි කරගනිමින් හිත් රිදීම් පුළුවන් තරම් අවම කරගෙන ඉදිරියට යන ඒක තමයි අපේ සාර්ථකත්වය. මට විශ්වාසයි මේ ගමන අපට යන්න පුළුවන් කියලා.”
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයෙෂා ජිනසේන මෙනවිය, අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්විය.



යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර ලබන JURE ව්‍යාපෘතියේ සහය ඇතිව අධිකරණ ක්ෂේත්රයේ ප්‍රධාන තනතුරු පත් කිරීමේ ක්‍රියාවලියට විනිවිදභාවය එක් වෙයි
2026 මාර්තු 31, කොළඹ, ශ්‍රී ලංකාව: ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්රය නවීකරණය කිරීමටත්, ආයතනික කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීමටත් ගනු ලබන අඛණ්ඩ උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සිය නව කළමනාකරණ තොරතුරු පද්ධතිය (MIS) සහ නවීකරණය කරන ලද වෙබ් අඩවිය අද නිල වශයෙන් දියත් කළේය.
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණ ඉතිහාසයේ පරිවර්තනීය යුගයකට ප්‍රවේශ වෙමින් නඩු ඉලෙක්ට්‍රොනිකව ගොනු කරනු (e filing) ලබයි.
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට හඳුන්වා දෙන ලද e filing පද්ධතිය මඟින් ඩිජිටල් පරිවර්තනයේ සුහුරු ප්‍රවේශය සනිටුහන් කරමින් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.
ඒ අනුව ඊ ගොනු කිරීමේ පද්ධතිය 2026 පෙබරවාරි 10 වන දින සිට විවෘත කරන ලද අතර නීතිඥවරුන්ට මෙම යෙදෙවුම මඟින් ඉලෙක්ට්‍රොනිකව නඩු ගොනු කිරීම සඳහා අවකාශය නිර්මාණය වී ඇත. මෙම ක්‍රියාවලියේ සපලතාව තහවුරු කරමින් මේ වන විට නඩු පැවරීම් රාශියක් ඉලෙක්ට්‍රොනිකව සිදු වී ඇත.
එකී ක්‍රියාවලියේ සංදිස්ථානයක් වශයෙන් 2026 මාර්තු 26 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විවෘත අධිකරණයේ කඩදාසි රහිත විද්‍යුත් පද්ධතිය මත පදනම් වූ ප්‍රථම නඩු විභාගය ගරු අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, ගරු විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සහ ගරු විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා මහතා සහිත විනිසුරු මඩුල්ල හමුවේ සිදු කරන ලදි.
මෙම නඩුව තවදුරටත් සුවිශේෂි වන්නේ එය 2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍රය, විභාග දිනට පෙර දිනයෙදී පිට කිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව ප්‍රකාරව රජය වෙත ගෙවීමට නියම කොට තිබූ රුපියල් මිලියන 03 ක වන්දි මුදල වගඋත්තරකරු විසින් ගෙවීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහස කිරීමේ වරද පිළිබඳ නඩු කටයුත්තක් වූ බැවිනි.
නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදි නඩු ගොනුව පරිශීලනය සඳහා සාම්ප්‍රදායික ලිපි ගොනුවක් වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සකස් කරන ලද ඩිජිටල් නඩු ගොනුව පරිගණකය තුළින් ගරු විනිසුරු මඩුල්ල පරිශීලනය කරන ලදී.
වගඋත්තරකරුට එරෙහි අධිකරණයට අපහාස කිරීම පිළිබඳ චෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී වගඋත්තරකරු වෙත පහදා දීම ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් මනෝදි හේවාවසම් මහත්මිය විසින් සිදු කරන ලද අතර චෝදනා පත්‍රය මත සිය ඩිජිටල් අත්සන තබා විද්‍යුත් පද්ධතිය වෙත මුදාහැරීම මඟින් චෝදනා පත්‍රය වෙත ප්‍රවේශය අදාළ පාර්ශව වෙත ලබා දෙන ලදි. චෝදනා පත්‍රයේ වූ චෝදනා සම්බන්ධයෙන් ඉදිරි විභාගය 2026 මැයි මස 14 වැනි දිනට කල් තැබූ අතර එමඟින් ශ්‍රේෂ්ඨාධිකරණය ලේඛන රහිත (paper less) නඩු විමසීම කෙරෙනුයේ නවමු අත්දැකීමක් ශ්‍රී ලංකා ජනතාවට මුදාහැරීමටය.
මෙම නව ඊ ගොනු කිරීමේ යෙදවුම ගරු අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් ආරම්භ කරන ලද අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීම සඳහා වූ “e-court” ව්‍යාපෘතියේ කඩඉමක් වන අතර එහිලා සුවිශේෂිත්වය වන්නේ මෙම යෙදවුම සම්පූර්ණයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහාය ඇතිව පමණක් ගොඩනගා තිබීම වන අතර මෙම පද්ධතිය ශ්‍රී ලංකා ටෙලිකොම්හි සහකාර කළමණාකරු (වෙඩ් අඩවි නිර්මාණ) උවිදු අනුරාධ මහතා විසින් සිදු කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් හදුන්වා දෙන ලද e-filing යෙදෙවුම ඔස්සේ වඩා ඵලදායි හා අඩු වියදම් සහිත නඩු ගොනු කිරීම සිදු කල හැකි අතර එමඟින් ලිපි ද්‍රව්‍ය සඳහා වන විශාල විදේශ විනිමය සහ පිරිවැය ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත. තවද මෙම ක්‍රමවේදයේ ඇති පහසුව හේතුවෙන් නිතිඥවරු විශාල වශයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම සඳහා යොමු වීම දක්නට ලැබෙන අතර ශ්‍රී ලංකාව පුරා ඇති සියළු අධිකරණ සඳහා මෙම ක්‍රමවේදය නොබෝ දිනකින් හඳුන්වා දීම අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු රෙජිස්ට්‍රාර් මනෝදි හේවාවසම් මහත්මිය , ගරු නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරුන් වන අභිමානි සෙනෙවිරත්න මහත්මිය සහ තරිඳු මහතා සහභාගී වූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තොරතරු තාක්ෂණ නිලධාරි අචින්ත වැලිදෙණිය මහතා ප්රමුඛ ඒකකය හා කාර්ය මණ්ඩලය මෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම්හි උවිඳු අනුරාධ මහතා සහභාගි වන ලදි.







